Monday 2nd of February 2026

English Tamil
Advertiesment


ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්


2017-11-12 14344

 

(ජයකාන්ත ලියනගේ )

මීටියාගොඩ, කලූපේ ප‍්‍රදේශයේ පාලූ නිවසක සගවා තිබියදී මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් සමග මීටියාගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරු 2017 නොවැම්බර් මස 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහේස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය සිකුරාදා (10) නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණය කර පරීක්ෂණ වල ප‍්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත‍්‍රාත්තුමිය මීටියාගොඩ පොලිසියට දැනුම් දුන්නාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ මීටියාගොඩ, කලූපේ පදිංචි දේව රොෂාන් ද සිල්වා (28) නොහොත් සන්කු නැමැති අයයි.

මීටියාගොඩ පොලීසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක ජනක සම්පත් මහතාට ලැබුණ තොරතුරකට අනුව සැකකරු පසුගිය 25 දා සවස 2.00 ට පමණ අත් අඩංගුවට ගෙන ප‍්‍රශ්ණ කිරීමේදී මීටියාගොඩ, කලූපේ ප‍්‍රදේශයේ පාලූ නිවසක සගවා තිබියදී මෙම ගිනි අවිය සොයාගෙන තිබේ.

ගිනි අවිය සොයා ගන්නා විට එම නිවසේ කිසිවෙක් නොසිටියත් එහි මිනිසුන් සිටින බවට තොරතුරු පෙනෙන්නට තිබෙන බවත් නිවසේ අයිතිකරුවන් කව්ද යන්න සම්බන්ධයෙන් සොයා ගැනීම සදහා තව දුරටත් පරීක්ෂණ පවත්වන බවත් මීටියාගොඩ පොලීසිය කියයි.

සැකකරු 2014 වර්ෂයේ පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාලව බන්ධනාගාරගත කර සිටි අයෙකු බවද මීටියාගොඩ පොලීසියේ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය.

මීටියාගොඩ පොලීසියේ අපරාධ අංශයේ උප පොලිස් පොලිස් පරීක්ෂක ජනක සම්පත් මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක සනත් මෙන්ඩිස් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

 
Advertiesment